Monday, March 18, 2013

යුතුකම හදුනාගත් දිරිය මාතාව "ඉස්සි අක්කා"

මිනිසගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි..............


අපි ඊයේ අනුරාධපුරේ වැඩම කලා. ඒ ස්වර්ණමාලී සෑරදුන් අභියස පැවැත්වූ විශේෂ පින්කමකට සම්බන්ද වෙන්න. බණ අහන ගො‍ඩක් සැදැහැවතුන් හොඳින් දන්නා ස්වාමින් වහන්සේ නමක්නෙ ගෞරවණීය කුකුල්පනේ සුදස්සි හාමුදුරුවො කියන්නෙ. වර්තමානයේ මිනිසුන්ට නිවැරදිව දහම කියාදෙන වටිනා යතිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ මෙහෙවීමෙන් හා අනුශාසකත්වයෙන් ඊයෙ දිනයෙ (2013-03-16) ස්වරණමාලි සෑමලුවෙ පැවැත්වුණු මහා ථූප වන්දනාව මෙහෙයවන්න තිබුනෙ අප ගුරුදේවෝත්ම ගෞරවනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේට. ඒ නිසා අපිත් ඒ වන්දනාවට සම්බන්ධ උනා.

මේ සටහන ලියන්න අදහස්කලේ එහිදී හමුවූ වටිනා මාතාවක් නිසා. ඈ නමින් සිරියාගේ සිරියාවතී ය.  ගොඩක් දෙනෙක්ගෙ ආදරණීය නාමය වුනේ  "ඉස්සි අක්කා" ය. මහව සිට උතුරු දෙසට දිවෙන දුම්රිය මාර්ගයේ පලුගස්වැව, පුවක්පිටිය දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක් යනෙන සෑම විටකම මේ දිරිය මාතාව නෙතගැටේ..

මිනිසගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි.............. කියල මුලින් කීවනෙ. ඒක බොහෝම වටිනා පැරණි කියමනක්නෙ. අපේ රටෙත් ඕනි තරම් සමාජ සේවකයෝ සේවිකාවො සොයාගන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒ අය  කරන්නෙ හදවතින් ම සමාජ සේවාවක් ද කියලනම් දන්නෙ ඒ අය විතරයි. ගොඩක් ආයතන වල දෙපාර්ථමෙන්තුවල තමන් ලබන වේතනයටවත් සරිලන අයුරින් තම කාර්ය ඉටුනොකරන අය අපේ රටේ ඕනි තරම් සොයාගන්න පුළුවන්නෙ. මටත් වඩා ඒක ඔයාල දන්නව. එවන් මිනිසුන් අතරින් මෙතුමිය ගොඩාක් ඉස්සරහින් ඉන්නෙ.

පාන්දර අරුණ නැගෙන්නටත් මත්තෙන් අවදිවන ඈ හුළුත්තක් අරන් දුම්රිය හරස් මාර්ගයට දිවයන්නේ අපමණ මානව දයාවකිනි. ඈට හැමෝම තමන්නේ දරුවෙක් ලෙස දැනෙන්නට ඇත. ආරක්ෂක ගේට්ටුවක් නොමැති මෙම ස්ථානයේ හිමිදිරි තුනේ සිට රාත්‍රී දහය පමණ වනතුරු දුම්රිය ගමන් වාර ගනනාවකින් ප්‍රදේශයේ ජනතාවට ඇ ආරක්ෂාව සපයන්නීය. අවස්ථා දෙකකදී පමණ හදිස්සි කාරණාවක් නිසා ඇයට තම කටයුත්ත කළ නොහැකි විය. ඒ අවස්ථා දෙදේදීම වටිනා ජීවිත කීපයක් අවසන් වූ බව ඈ පවසන්නේ හදපිරි වේදනාවෙනි.

ඇගේ වටිනාකම ස්මතුවන්නේ මේ මගු කැපකිරීම දින දෙකතුනක්, සති කීපයක්, මසක්, වසර දෙකක තුනක් නොව මේ වනවිට අටලොස් වසක් නොකඩවා සිදුකිරීමෙන් හා ජීවිතයේ අවසාන මොහොත තෙක්ම මෙම සත් ක්‍රියාව කිරීමේ පිවිතුරු චේතනාවත් සිත්හි ඇති නියාවෙනි. ඒ උත්තම මානව ගුණයට උපහාරයක් පුදන්නට ඊයේ සන්ධ්‍යාවේ ස්වර්ණමාලි සෑ මලුවේ කටයුතු සන්විධානය කර තිබුණි. ඒ ගෞරවනීය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් හා සත්ජන සමාජ සංවර්ධන පදනමේ ප්‍රධානනත්වයෙනි.

පින්කමේ අවස්ථා කීපයක්
 ස්වර්ණමාලි සෑරදුන්ට කප්රුක් පූජාවක් කළ මොහොත

 මහා ථූප වන්දනාව මෙහෙයවමින්. පූජනීය උඩුබද්දාවේ ධම්මතිලෝක ස්වාමින් වහන්සේ
 පූජාවට සම්බන්ද වූ සැදැහවතුන්ගෙන් පිරිසක්
 අසිරිමත් මනුෂ්‍යත්වය නමින් වටිනා දම්දෙසුමක්. පුජනීය කුකුල්පනේ සුදස්සි ස්වාමින් වහන්සේ.
පූජාවට සම්බන්ද වූ ගෞරවණීය ස්වාමින් වහන්සේලා



Share/Bookmark